ආයෙමත් අපි හමුවේවී෴

-02 කොටස-





මෙච්චර කාලයක් ගෙදරටවෙලා නැත්නම් ඔහේ රස්තියාදු ගහපු මම තාත්ත එක්ක වැඩට ගියේ කරන්න වැඩක් නැති නිසා නෙවෙයි. මේ වෙද්දි අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න හරියට. තාත්තා නිතරම කිව්වෙ පොත ඉගෙන ගත්තට සමාජෙට ගියාම අතරමං වෙනවා කියලා. තාත්තගෙ පුරුද්දක් තිබුණා අපිට නොතේරෙන්න අපිට දේවල් දැනෙන්න අරින්න.

"රත්නපාල අයියගෙ දුව කැම්පස් තේරිලා. ඊයෙ ලියුම ඇවිත් තියෙන්නෙ." තාත්ගෙ වචන මට ගහපු හින්ට් එකක් වගේ. කවදාවත් පන්තියේ මුල් ලකුණුවල හිටියෙ නැති මට ඇහෙන්න කියපු දෙයක් විදිහට මං එක පිළිගත්තා. ඒත් ඒකට මං කරන්න ඕන දේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වුණා. අනික මට ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නෑ. අම්මා උනත් මං කරන්න ඕන මොකද්ද කියලා හරියටම කියන්නෙ නැති නිසා මම මට ඕන විදිහට ඉන්න පුරුදු උනා. ඇත්තටම නිදහස කියන එක ඒ දේ කියලා මම තදින්ම විශ්වාස කරන්න පටන් ගත්තා. ඒත් මේ විදිහට නොදැනෙන්න කියන ගොඩක් දේවල්වලින් මගේ හිත එක විදිහක පීඩනයක් වින්දෙ නැතුවමත් නෙවෙයි. භෞතික දඬුවමකට වඩා ආධ්‍යාත්මික දඬුවම් සැරයි කියලා මං දැන්ගත්තෙ මේ දේවල් සිද්ධ වෙලා ගොඩ කාලයකට පස්සෙ.

"පුතාප්පා.. බත් එක බෙදලා..." අම්මගෙ ලෙන්ගතු වචන එක්ක මට හැමදාම මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන්න හිතෙනවා. මම බත් එක අරගෙන තාත්තා වාඩිවෙලා හිටිය පුටුවට ටිකක් දුරට වෙන්න ප්ලාස්ටික් පුටුව ඇදලා අරන් වාඩි වුණා.

"අර උස මහත මහත්තයෙක් හිටියෙ,"

"ඕ.."

"එයා තමයි නායක්කාර මහත්තයා. වත්තෙ CO."

"එයා ද ඒ. ඒක තමයි මට කතාවෙන් තේරුණා. එදා කෝල් කළානේ." නායක්කාර කියන්නෙ තාත්තට හරිම හිතවත් මහත්තයෙක්. කොයි වෙලෙත් "නිමල්.." කියගත්ත ගමන්මයි. උණු වතුර ටබ් එක හීට් වෙන්නෙ නැති උණාම කතා කරන්නෙත් අපේ තාත්තට. තාත්තනම් කියන්නෙ ඉගෙනගත්තට ප්‍රායෝගික දැනුමක් නෑ කියලා. එත් හිත හොඳ මනුස්සයා. අපි මොකක් කියලා කතා කළත් තාත්තා නම් කටපුරාම මහත්තයා කියලමයි කියන්නෙ.

"එයාගෙ පුතා ඕස්ට්‍රේලියාවේ ගියා ලඟදි." තාත්තගෙ මං අකමැතිම පුරුද්ද ආයෙමත් පටන් ගත්තා. ඉගෙන ගනිං පාඩම් කරපන් කිව්ව නම් මට ඒක කරන්න තිබුණා. ඒත් මේ වහෙංඔරෝ කියන එක මට දිරවන්නෙම නෑ.

"ඉගෙන ගන්නද ඒයි." අම්මගෙ පිදුරු දැමිල්ල නිසා තාත්තගෙ කතාව දුර යනවා කියලා ම⁣ට තේරුණා. කාලා ඉවර උන බත් පිඟාන අරන් මම හෙමීට කුස්සියට මාරු උනා. නැත්නම් ඕක අන්තිමට කැරකිලා එන්නෙ මගේ පැත්තට. ඔය අතරේ තාත්ගෙ ෆෝන් එක රින් වෙනවා ඇහුණම ලොකු නංගි ෆෝන් එකත් අරන් දුවගෙන ඇවිත් තාත්තට දුන්නා.

"මහත්තයා..." තාත්තගෙ යටහත් වචන මට ඇහෙද්දි එක වෙලාවකට පව් කියලාත් හිතෙනවා. තාත්ත අවංක වැඩියි. කරන වැ⁣ඩේ උනත් දවස් ගනන් ඇද ඇද ඉන්නෙ නෑ. තාත්තා වත්තෙ නිවාඩු දවසට CO බංගලාවට යන්නෙ නායක්කාර මහත්තයාගෙන් කෝල් එකක් ආවොත් විතරයි. කෝල් එක ආවෙ එහෙන් කියලා මට තේරුණා.

"හරි.. හරි මහත්තයා. මං හෙට උදේ එන්නම්."

_ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්න බැරි නම් අවංක අනුගාමියෙක් වෙන්න ඕන. ඒක නම්බුකාරයි._

අයෙමත් අපි හමුවේවී...

නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.11.06

Comments

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...

අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..