ආයෙමත් අපි හමුවේවී෴



_06(අවසාන) කොටස_

"ඔයා අර චොකලට් එක දීපට දුන්නද" විනාඩියක් යන්නත් කලින් අහිංසගෙන් ආව කෝල් එකේ මුල්ම වචනවල තිබුණේ ආවේගයක්.

"ඔව්." මම කෙටි පිළිතුරක් තවත් ප්‍රශ්න උල්පතකට හේතුවක් විදිහට අහිංසට දුන්නා.

"ශිට්... මොනා ඒ කළේ අයියෙ.. දැන් දීප මොනවා හිතයිද.. දැන් කොහෙද ඉන්නෙ.." එදා අහිංසා කිව්ව විදිහට දීපටත් කියන තැන කියවුණ දේ මම වැරදි විදිහට තේරුම් අරගෙන ආත්මාර්ථකාමී විදිහට කරපු දේ ගැන මං පසුතැවුණා.

"දීපලගෙ ගෙදර" මේ වචන දෙක කියනවත් එක්කම අහිංසගෙ කෝල් එක කට් වුණා. ඇත්තටම ඒ කෝල් එක කට් කළා ද කට් උනා ද? අගක් මුලක් තේරුමක් වැටහීමක් නෑ, හරියටම උභතෝකෝටික ප්‍රශ්නයක මම පැටලිලා ඉන්න බව නම් තේරුම් යන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.

"කවුද.. අරකි නේද.." දීප මෙච්චර වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා කියලා මං දැගත්තෙ එවෙලෙ. ඒ මූණේ තිබුණේ තරහක් ද කළකිරීමක් ද කියන්න තේරුණේ නෑ. ඒත් ඒ වචනවලින් තේරුණේ මාව දීපට දැනටමත් සැකයි කියනෙක.

"නෑ බං."

"හ්...හ්.. මරු.. එල.." දීපගෙ පල් හිනාවයි බොරු වැනීමයි මාව කඩලා බිඳලා පහතටම දැම්මා. ඇයි මමත් ඒ අහිංසා කියලා නොකිව්වෙ. මොන හේතුවක් උඩද මම ඒක හංගන්නෙ. අඩුම අහිංසට මං බලාපොරොත්තු දුන්නද? එහෙම නොදැනුවත්ව හරි දීලා නම් මමත් මේකට හවුල් නිසාම ද දීපගෙන් මං ඒ බව හැංගුවේ. ආයම ඒ අහිංසා කියලා කිව්වොත් දීප අනිවාර්යයෙන්ම මාව සැක කරනවා. කොහොමත් දැනටමත් මං ගැන තියෙන විශ්වාසය බිඳිලා.

"මචං උඹට මාව විශ්වාස නැත්නම් මගෙන් ඕවා අහන්නෙපා." දීපගෙ ගිණිගන්න ඔලුවට ලුණු දැම්මා වගේ මගේ වචනවල⁣ට දීපට තවත් තරහ ගියා. අහිංසා ගෙනාව පුංචි සුුදු කානේෂන් මල් පොකුර දාලා මේසෙ උඩ තිබුණ මල්පෝච්චිය පොළවෙ ගැහුවා.

"උඹට ඔච්චරයි පුළුවන් කුකුල් කේන්තිකාරයා. ඔහොම වෙලා මදි තොට." මගේ කටින් ඒ වචන පිට වුණේ ඇයි. ආයෙත් ඒවා ගන්න පුළුවන් නම්.

"තෝයි අර ඒසීයි එකතුවෙලා තමයි මට මෙහෙම කළේ. ඇත්ත.. මට මෙහෙම වෙලා මදි. එකපතේ කාපු උන් උනාට බොක්ක වෙනස්. කාලකන්නියා." මගේ වචන ආය ගන්න බැරි තරමට දුර ගිහින්. දීපගේ ඒ වචන අල්ලගන්න උත්සහයක්වත් නොකර මම කාමරෙන් එළියට ආවා. ඒ එක්කම කාමරේ පැත්තට දුවගෙන ආව දිපලාගෙ අම්මා දිහාවත් නොබලා මං ගෙදර එන්න ආවා.

දීප කියපු දේවල් ඔලුව ඇතුළේ චිත්‍රපටි දෙබස් වගේ ඒ ඒ තැන්වලට හරියන රූප එක්ක මැවෙන්න ගත්තා. ඒ අස්සෙන් අහිංසට තවත් ලංවෙන්න හේතු හිතේ ⁣පැළවෙන්න හදනකොටම ඒවා තලලා පොඩිකරලා දාන්න මං දෙපාරක් හිතුවෙ නෑ. ඒත් ඇයි මං එහෙම කරන්නෙ. අහිංසා මට කරපු වැරැද්ද මොකද්ද? මගේ හිත මටම තර්ක ⁣විතර්ක මවලා දෙන විදිහට ඔලුව පුපුරන්න බැරි නැහැ.

"online enna" ෆෝන් එකට ආව මැසේජ් එක නොටිෆිකේෂන් එකේදිම කියවපු මම, වට්සැප් එකේ අහිංසගෙ චැට් එකට ගියා. එක දිගටම එන වොයිස් මැසෙජස් දිහා බලන් හිටය මට ඒවා අහන්න කලින් ඒවයෙ තියෙන දේවල් ඔලුවෙ ඇහෙන්න ගත්තා. යකඩ කම්මලක් වගේ මගේ ඔලුව හැම අතින්ම තැලෙනවා පොඩිවෙනවා. අඩුවක් තියෙනවා නම් ඒ සද්දෙ විතරයි. රිප්ලයි නොකර ඉද්දි අහිංසගෙන් එක දිගට එන කෝල්ස් තවත් හිසරදයක් වුණ නිසා ෆෝන් එක ඕෆ් කරලා දිග හුස්මක් පපුවෙන් එළියටම ඇදලා දැම්මා.

ඇයි අර වගේ මෝඩ වැඩක් කළේ. හම්බවෙන්න ඕන නම් මට කෙලින්ම කියන්න තිබුණා. මොකද කොළවල ලිය ලියා දෙන්නෙ. අඩුම මැසෙජ් එකක් දාන්න තිබුණා. තනියම අහිංසට කතාකරන මගේ හිත දැන් හොඳටම හෙම්බත් වෙලා. දීපගෙන් තොරතුරක්වත් නැති නිසා පුංචි බයක් හදවතේ කොණක හිරවෙලා තිබුණා. ඒත් දීප ඒ තරම් බොලඳ නැ කියලා මං ආයම හිත සනසගත්තා. වියෝ දුකක් හිත පුරාම පැතිරිලා යන්නේ හරියට මේ වැස්සට ඉස්සර අහස වසාගන්න බීරමක් වගේ. අහස වගේ වෙන්න මටත් තිබුණා. දුකේදි අඬන්න සතුටෙදි හිනාවෙන්න මටත් පුරුදු වෙන්න තිබුණා. ඒත් ඒ දීප නිසාද අහිංසා නිසා ද කියනනෙක මං කල්පනා කළේ නෑ. හැමදේම හිතේ හිර කරගනිද්දි මට තවත් ටිකක් හිතන්න තිබුණා. මේ එක්කම දවසක් යාලුවෙක් කියපු කතාවක් මට මතක් වුණා. "ප්‍රශ්න ඇතුළේ ප්‍රශ්න හදනවා අපි. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ." ඇත්තටම ඒ කතාව හරියටම හරි. හිතන එක තමයි ලොකුම ප්‍රශ්නෙ. මම දීපට මැසේජ් එකක් දාන්න හිතන් ෆෝන් එක ඔන් කළා. අහිංසගෙන් මිස්කෝල්ස් එක දිගට.

"සොරි බං. උඹට මාව විශ්වාස නෑ. මාව විශ්වාස නැත්නම් මාව ආශ්‍රය කරන්නෙපා. උඹටමයි රිදෙන්නෙ." දීපට මම මැසේජ් එකක් දැම්මා. මොහොතක් යන්නත් කලින් දීපගෙන් මට කෝල් එකක් ආවා. කියන දේ අහගෙන ඉන්නවා. උගේ හිත පාරපු තරම ඇති" කියලා හිතන් කෝල් එක ආන්සර් කළා.

"සමාවෙයන් මචං." දීපගේ වචන එක්ක මතුවුණ ඉකිගහන හඬ මගේ හිත ඇස්වලට කඳුළු හෙළන්න අවසර දුන්නා.

"උඹට තේරෙන්න ඇති මං ඒ වෙලාවෙ හිටිය විදිහ. සමවෙයන් මේ අවුල නිසා මම පුංචි දේ පවා ලොකු කරගන්නවා. සිද්දවෙන හැමදේම බලන්නෙ වපරැහින්. ඒ නිසා මට සමාවෙයන් මචං. මං කියපු හැමදේටම සමාවෙයන්."

"එහෙම කියන්න එපා. මට උඹව තේරෙනවා. මටත් සමාවෙයන්." එතනින් එහාට ආයමත් පරණ වල්පල් කියව කියව යකඩෙක බැඳිච්ච මලකඩ ටික ටික හූරලා දාලා ආයමත් පරණ හිතවත්කම පටන් ගත්තා. දවස් දෙකතුනක් මේ විදිහට සන්සුන් විදිහට ගතවෙලා ගියා. අහිංසා ඉඳහිට දීපට කතා කරලා පරණ විදිහටම ඉන්නවා කියලා දීප දවසක් මට කිව්වා.

"උන දේවල් අමතක කරලා ඒකි එක්ක පාඩුවෙ සතුටින් ඉඳපන්. සැකේ පැත්තකින් තියලා මේ මොහොතට ආදරේ කරපන්. අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. ඒ ටික කාලෙ සතුටින් සැනසීමෙන් ඉඳපන්" මේ වචන මටම ආදර්ශයක් කරගන්න පුළුවන් උනානම් කියලා ඒ වෙලාවෙ හිතුණා.

AL විභාගෙට අපි එකතුවෙලා පාඩම් කරමු කියලා අහිංසා දීප අතේ ඒ දවස්වලම කියලා තිබුණා. ඒක දීප මගෙන් අහපු දවසේ හා කියලා ඒ දවසට හදිස්සි බොරුවක් කියලා වැඩේ මගැරියා. එක දිගටම මේ දේ වුන නිසා දීපත් මාව තේරුම් අරගෙන දිගින් දිගටම කරපු ආරාධනා නැවැත්තුවා. ඉරිසියාවක් හිතේ ඇතිවෙන්න පටන් අරගත්තෙ ටිකෙන් ටික මම තනිවුණා කියන තැනට මට දැණුන නිසා. රෑ තිස්සෙ සින්දුවක් අහගෙන මනෝලෝකයක ජීවත්වෙන්න, මම ඒ දවස්වල හරියට ආස කළා. ඒ විදිහට ලස්සන සින්දු ටිකක් ඩවුන්ලෝඩ් කරගෙන හෙඩ් සෙට් දෙකත් කණේ ගහගෙන හාන්සි වෙලා වහල දිහා දවසක් මම බලාගෙන හිටියා. ලයිට් ඕෆ් කළත් ෆෝන් ස්ක්‍රීන් එකේ එළිය කාම⁣රේ අඳුරත් සීතලත් අඩුයි කියලා හිතුණ ඒ වෙලාවෙ සින්දු අතරින් එකපාර ප්ලේ වුණ වොයිස් එක මම අඳුරගත්තා. පෝන් එක අතට අරගෙන ආයම ප්ලෙ ලිස්ට් එක බලලා වට්සැප් එකේ අහිංසගෙ චැට් එක හොයන් ගිහින්, එදා මනසින් හිතාගත්තට ඒ වෙනකල් නාහපු වොයිස් ටික පිළිවෙලට අහන්න පටන් ගත්තා. ආයෙමත් මගේ පපුවෙ නරහ ඇකිලෙන්න හදනවා. හුස්ම වේගෙන් වේගෙන් එනවා යනවා. ඇස්බොඳ වෙලා කම්මුල්වලටවත් ⁣නොකියා කොට්ටෙට වැටෙන කඳුළු, හරියට මටවත් අයිති නෑ වගේ. හරියටම අහිංසා වගේ.

"මට ආයෙත් අතීතෙට යන්න ඕන. ආත්ම ගාණක් ආපස්සට යන්න ඕන."

__________________________________________________

පසුව ලියමි,
හිතාදර දීප. උඹට මගේ කතාවට නෑවිත් ඉන්න තිබුණා. නෑ. මට උඹේ කතාව නොලියා ඉන්න තිබුණා.

ආයෙමත් අපි හමුනොවේවි෴

නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.12.25

01 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post.html

02 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_5.html

03 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_16.html0

4 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_18.html

05 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_21.html


Comments

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...

අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..