ආයෙමත් අපි හමුවේවී෴

_04 කොටස_



ඒ ලෙවල් විභාගෙට මාස හතරකට විතර කලින් දීපට අහිංසගෙ ගෙදරින් අරන් දුන්න කිහිළිකරුවලින් දීපව ඇවිදින්න පුරුදු කළෙත් අහිංසා. අහිංසා දීපට ලංවෙලා ආධාරකයක් වගේ දීපට උදව්වෙන විදිහ දැක්කම් මට පුංචි ඉරියාවක් ආවත් යාලුකමට කරන අපරාධයක් විදිහට මං දැක්ක ඒ ඉරියාව එන වාරයක් වාරයක් ගානෙ තලලා පොඩි කරලා ඈතට විසි කළා. ඒත් කොච්චර කාලයක් ඒ දේ කරන්න පුළුවන් වෙයි ද කියලා මට හිතුණෙ නෑ. 

"දීපටත් මේකෙන් දෙන්න." දවසක් අහිංසා මට ලොකු රිස්බරි චොකලට් එකක් දීලා මේ කිව්ව දේ එක්ක මම වැඩියෙන් හිතන්න පටන් ගත්තා. දීපටත් කියන එකෙන් අදහස් කළේ මේක මටම දුන්න එකක් කියලද ? ඇයි මට ? මම චොකලට්වලට ආස බව දීප දන්නවා. ඒත් කවදාවත් අහිංසා ඉස්සරහදි ඒ ගැන මම කියලා තිබුණේ නෑ. දීප කියන්න ඇති. ඒත් මට මොකටද ?

"ඉඳා උඹට දෙන්න කිව්වා." ක්ලාස් එකේ පස්සෙ පේලියට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය දීපට චොකලට් එක දික් කරන ගමන් කිව්වා.

"තොට පිස්සුද ... මං ඕවා කන්නෑ කියලා දන්නවනෙ... කවුද දුන්නෙ.. " දීප හිනාවෙන ගමන් මගෙන් ඇහුවා.

"වෙන කවුද " මම දීපගෙ පැත්තෙන් චොකලට් තියලා අත වගේම හිතත් චොකලට් එකෙන් නිදහස් කළා.

"චොකලට් එක රසද ?" මං හිතුවෙ මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවරවෙයි කියලා. ඒත් අහිංසා ආයෙත් අලුත් කරන මේ ප්‍රශ්නය එයාට නෙපෙනෙන්න මගේ හිත අස්සෙන්ම මාවම පීඩාවට පත්කරන තවත් ප්‍රශ්න පත්තරයක ආරම්භයක්. ඒවයින් මිදෙන්න මම උත්සහ කරන හැම වෙලාවෙම අහිංසා මාව අල්ලගන්නවා.

"ඔව්."

"බොරු. කෑවෙ නෑ නේද ?" හුරතලෙන් වගේ අහන දේවල්වලට හිත පුරවගෙන උත්තර දෙන්න මටත් මානසිකත්වක් තිබුණා නම් කොච්චර ලස්සනද? මගේ හිතේ ඇතිවෙන මිත්‍රද්‍රෝහී හැඟීම් යටපත් කරමින් මම අහිංසාව මඟහරින්න උත්සහ කළා. ඒ හැමවාරයකම එයාම ඇවිත් මාව මුණ ගැහෙන්න පටන් ගත්තා. හෝද හෝද මඩේ දාන සුදු පිරුවටයක් වගේ මගේ හිතත් මඩ වෙවී පිරිසිදු වුණා.

"මචං අහිංසා වෙනස් වෙලා බං"

"මොකද්ද උනේ.. ඇයි උඹ එහෙම කියන්නෙ." බයෙන් හිටපු දේ සිද්ද වෙන්න පටන් අරන් කියලා පිළිගන්න මම සූදානම් වුණේ නෑ.

"වෙනදා වගේ මට කෙයාරින් නෑ මචං. කෝල් කළත් වෙනදා වගේ දිග කතා නෑ. මං අහන දේකට උත්තර දෙනවා විතරයි බං. වෙනදා වගේ හම්බවෙන්න එන්තේ නෑ. හම්බවුණත් ඉක්මනට යනවා." වෙන දේවල් කලින් හිතපු දේවල් වුණාහ දැනෙන්නෙ පසුතැවීමක් ද ? කළකිරීමක් ද ? දිපගෙ මේ වචනවල තියෙන වේදනාව මං බලාපොරොත්තු උනාද ?

"උඹට මට මොනා හරි කියන්න තියෙනව ද" දීප අහපු දේට මගේ උගුර කට වේලිලා ගියා මේ අහන දේට මගේ මැදිහත් වීමක්වත් පෙළඹවීමක්වත් නොතිබුණත් මට බය හිතුණා. ඒත් දීප ඇහුවෙ ඒකමයි කියලා කවුද දන්නෙ. මම කට ඉස්සර කරගෙන නැති ප්‍රශ්න ඇති කරන්නෙ මොකට ද.

"එහෙම දෙයක් නෑ. මං අහිංස එක්ක කතා කරන්න ද?" ⁣තෙතක් නොතිබුණ වචන දෙක තුනක් මගෙ කටින් ඒ විදිහට පිට වුණා. ටික වෙලාවක් දීප මගේ මුණ දිහා එක එල්ලේ බලාගෙන හිටියා. ඒත් ඒ මූණේ තිබුණේ රෞද්‍ර පෙණුමක් නෙවෙයි. ඇතුළතින් කඩාගෙන වැටුණ මැලවිලා ගිය හෙම්බත් මූණක්. වම් කලිසම් සාක්කුවට අත දාලා හතරට පහට නවපු කොළයක් දීප මගේ අතට දුන්නා.

"මොකද්ද බං මේ ?" රටාවකට නවලා තිබුණ සී ආර් කොළේ දිග හරින ගමන් මම දීපගෙන් ඇහුවා.

"ඕනම දෙයක් අල්ල ගත්තෙ කොච්චර තදින් ද, අත්හැරෙද්දී ඒ දේවල්.. එච්චරටම රිදෙනවා."

ආයෙමත් අපි හමුවේවී෴

නිපුන් ඉමාෂණ රණවීර ✍
2021.12.18

01 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post.html

02 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_5.html

03 කොටස 👇

http://nipunimashana.blogspot.com/2021/12/blog-post_16.html

Comments

Popular posts from this blog

නුඹත් හරි මේ සසර පුරුදුමය...

අපි තරම් කවුදවෙන ඉසුරුමුණි හැරෙන්න..