ආයෙමත් අපි හමුවේවී෴
_03 කොටස_
බැඳිම්වල හිර වෙලා අල්ලන් ඉන්න බැරි තැනුත් අල්ලන් දරන් ඉද්දි හිතෙන්නෙ අපි හරි ශක්තිමත් කියලා. ඒත් ඒවා අත්හැරේද්දි තමයි තේරෙන්නෙ, අපි එහෙම නෑ කියලා. මට සිහිය එද්දි මම හිටියෙ පොඩි ලී පුටුවක වාඩිවෙලා. මගේ ඇස් දෙක බාගෙට ඇරෙද්දි මං දැක්කෙ පොඩි කොල්ලෙක් මගේ මූණ දිහා කටැරගෙන පුදුමෙන් වගේ බලන් ඉන්නවා. ඇස් දෙක ඇරෙනවත් එක්කම තාත්තේ කියාගෙන කෑ ගහගෙන දිව්ව ඒ කොල්ලා මැදි වයසෙ මනුස්සයෙක් එක්ක මගෙ ලඟට ආවා.
"මේක බොන්න.." ඒ මනුස්සයා මගේ දිහාට වතුර බෝතලයක් දික් කළා. උගුරු දෙක තුනක් කටට හලාගත්ත මම, අතට වතුර ටිකක් අරන් මූණ තෙත් කරගත්තා.
"මාත් එක්ක හිටිය අනිත් කෙනාට මොකද උනේ.." දීප ගැන මං ඇහුවෙ හිතේ වේදනවට ආයෙත් කතා කරන ගමන්. දීපගෙ වම් කකුල බයික් එකට යටවෙලා දණිස ලඟින් පැලිල එලියට ඇවිත් තිබුණ ඇට කටු එක්ක ලේ විල මතක් වෙද්දි ආයෙත් මුළු ඇඟම පණ නැති වෙන්න වගේ. බයික් එක හප්පලා ගිය එකා ගැන මගේ හිතේ ඇති වෙන තරහ නිසා ඒ බය යට වුණා. දැන් හොයගෙන ගිහින් ගහල ගහලා මරලා දාන්න තරම් කේන්තියි. කවදාවත් ඒ වගේ අසරණ මූණත් මං දීපගෙන් දැකලා තිබුණේ නෑ.
"හොඳ වෙලාවට අර වාහනේ හිටියෙ දොස්තර කෙනෙක්. එයාම වාහනේට දාලා ඉස්පිරිතාලෙට එක්ක ගියා."
ඒ මනුස්සයා කියපු විදිහට හොස්පිටල් එකට ගිය මම රිසෙප්ෂන් එකෙන් විස්තර අහගෙන දීප හිටිය කාමරේට ගියා. මං යනකොටත් මිනිහා වම් පැත්තෙ තිබුණ ජනේලයෙන් එළිය බලාගෙන හිටියෙ. බැන්ඩේජ් කරලා තිබුණ කකුල දිහා බලද්දි මගේ කකුල් පණ නැතිවෙන්න වගේ. මේ දේ උනේ මං හින්දා කියලා මට හිතෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් මං හිටියෙ දීපට කොහොමද මූණ දෙන්නෙ ? එයාලගේ අම්මලා තාත්තලාට මොනාද කියන්නෙ කියලා හිතෙන් තනියම මටම උත්තර බඳින ගමන්. ඇත්තටම වරද මගේ අතේ. මං එදා බයික් එක අරන් ගියා නම් මේක වෙන්නෙ නෑ. මං මට දොස් පවරන ගමන් දීප ලඟට කිට්ටු උනේ නළලට අලව ගත්ත ඇස්දෙකෙන් දීපගෙ අයින් කරලා බැන්ඩේජ් කරලා තිබුණ වම් කකුල දිහා බලාගෙන බයෙන් බයෙන්. දීප මළ කඳක් වගේ ඇඳේ වැතිරිලා කිසි විශේෂත්වයත් නැති හිස් අහස දිහා ජනෙල් වීදුරුවෙන් බලන් හිටියා. ඇද ලඟට ලං වෙද්දි දීප මගේ දිහා හැරිල බැලුවෙ හරියට මෙච්චර වෙලා හිතේ හිර කරගත්ත වේදනාව කියන්න මඟ බලාගෙන හිටිය අසනීපෙන් ඉන්න පොඩි එකෙක් අම්මා එනවා දැකලා ඒ දිහා බලනවා වගේ හරි සන්තෝසෙන්. දීප හිනාවුණා. ඒ හිනාව හරියටම "මම සනීපෙන් මචං" කියලා බදාගත්තා වගේ තේරුණා. වැහි වලාකුළු අතරින් ඉර පෑදුණා වගේ ඒ හිනාව එක්කම පිට වුණ "දැන්ද උඹ එන්නෙ.." දීපගෙ වචනවල කිසිම අමුත්තක් තිබුණේ නෑ.
"මොකද උඹ කතා නැත්තෙ" දීප මගේ මූණ දිහා බලාගෙන අහපු ප්‍රශ්නෙට මට උත්තර දීගන්න බැරි උන එක ගැන පුදුම වෙන්නෙ නැහැ. මං ඒ වෙලේ බයික් එක අරන් ගියා නම් දීපට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. එහෙනම් මේ විදිහට මට මාවම එපා වෙන්නෑ. මට එහෙම වෙනවට වඩා මට දීප දිහා බලන් ඉඳලා දැනෙන මේ වේදනාව වැඩියි කියලා හිතුණා.
"ඕයි මහත්තයො.. මොකද තොට වෙලා තියෙන්නෙ.."
"උඹට කොහොමද ?" හොඳයි නෙවෙයි කියලා ඇස් ගෙඩිදෙකේ වැදෙන තරමට පෙණුනත් මට අහන්න පුළුවන් උනේ එච්චරයි. සති දෙකක් තිස්සේ ආව ගියත් මට දැණුනෙ මහා වරදකාරී හැඟීමක්. දීපට එන්න එන්නම සනීප වුණත් ඌව දකින දකින වාරයක් වාරයක් ගානේ මගේ පපුව රිදෙන්න ගන්නවා.
"පුතා හිටිය නිසා හොඳයි." දීපගේ අම්මගෙ වචනවල තිබුණ ස්තුති පූර්වක බව මම පිළිගත්තෙනෑ. ඇත්තටම මේක උනේ මං නිසා. ඒත් ඒක කටැරලා කියන්න තරම් හයියක් මටනෑ. මේ ගැන හිත හිත ඉන්නකොට මගේ ඉස්සරහට ආව කෙල්ල දිහා මම අමුතුවෙන් බලන්න සිද්ධවුණා. කල්පනා ලෝකයක ඉඳගෙන තර්ක විතර්ක කරමින් හිටිය මාව තවත් රිද්දන්න මතක්වෙලා එන මතකයක් වගේ මම එයාව අඳුර ගත්තා.
"යාලුවාට කොහොමද? ඩිස්චාජ් කළා නේද?"
"ඔව්. දැන් නම් සනීපයි. ඒත් සමහර වෙලාවට වේදනාවෙන් කෑගනවා."
"අනේ එහෙමද.."
"සමහර තුවාල තියෙනවනෙ බෙහෙතකටවත් අඩු නොවෙන." මම මටම උත්තර දුන්නා වගේ කියලා මට හිතුණා. ඒක එයාටත් හිතෙන්න ඇති. ඒ නිසා ටික වෙලාවක් නිහඬව ඉඳලා "පේන්කිලස් දුන්න නම් හරි " කිව්වෙ අපි ඉඳගෙන හිටිය කොන්ක්‍රීට් බැම්මෙන් නැඟිටින ගමන්.
ඇත්තටම වේදනා නාශකයක් දැන් මටත් තිබුණා නම් කියලා හිතුණා. තාවකාලිකව හරි සුවපත් වෙන්න මටත් ඕන. ඒත් කාලයත් එක්ක ඒකත් ඇඩික් එක්ක වෙන්න බැරි නෑ. ඇල්හොල් වගේ.
"මචං උඹට දෙයක් කියන්න තියෙනවා."
"කියපන් බං. මොනාද ඕන උඹට." දීපගෙ වැඩටිකත් කරලා දෙන ගමන් නිතරම මම උන්ගෙ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මේ දවස් ටිකේ දීපව බලන්න එදා මාත් එක්ක කතා කරපු කෙල්ලත් යන්න එන්න පටන් ගත්තා. නිතරම කෝල දීලා සැප දුක අහන්නත් පටන් ගත්තා. ඉඳලා හිටලා මටත් කෝල් එකක් දෙනවා. සමහර දාට එයාට එන්න බැරි වෙන දවසට දීපට පළතුරු මල්ලක් මගේ අතේ එවන එක අහිංසාගෙ පුරද්ද.
"මං අහිංසට කැමතියි බං." දීප හිනාවෙලා කිව්වෙ කවදාවත් ඒ මූණේ මං නොදැකපු අමුතු ලස්සනක් එක්කම.
"නියමයිනෙ බං. උඹ කැමැත්ත ඇහුවද?" මට මේ තරම් දේවල් පෙනි පෙනී සිද්ධවෙද්දිත් නොපෙනුණ දේවල් නොපෙනීම සිද්දවුණා කියලා දීපගෙ උත්තරේ එක්ක මට තේරුණා. කොහොම උණත් මට කලින්ම තේරුම් ගියා අහිංසගෙත් දීපගෙත් වෙනස්කම්. මං ඒවා වර්තමාන දිපගෙ සතුට එක්ක ගලපන ගමන් මට හිතුණ දේත් හරි කියන අනියම් සතුටක් මමත් ගත්තා.
පස්සෙ දවසකදි දීප මට කෝල් එකක් දීලා කියපු කතාව හින්දා අහිංසා ගැන තිබුණ පැහැදීම වගේම දීපගැන තිබුණ විශ්වාසයත් සෙළවෙන්න පටන් ගත්තා.
"උඹට ඕක මට කලින් කියන්න තිබුණනේ.. ඇයි හැංගුවේ.. අරකි පිට එකී. ඒත් උඹ.."
"හරි හරි මේක අහපන්කො මචං. අපි හිතුවා උඹ ඒක දැනගත්තම තරහා ගනියි කියලා. අනික මට ඕන උනේ නෑ උඹව මේකට කොහොමවත් සම්බන්ධ කරගන්න. එදා අහිංසා නෙවෙයි ඩ්‍රයිව් කරලා තියෙන්නෙ." දීපගෙ ඇක්සිඩන්ට් එකට හේතුව අහිංසා කියලා දැනගත්ත වෙලාවෙ මට ආව කේන්තියට එකිව මරන්න පුළුවන්. දීපව මගේ ඉස්සරහ මැරි මැරී ජීවත් වෙන්න හදපු එකට ඒකිගෙන් පළිගන්න හිතුණා.
"මචං මට දැන් අහිංසා නැතුව බෑ. උඹ දන්නවනේ මං කලින් මේ දේවල් ගැන හිතුවෙ නෑ. ඒත් අහිංසගෙ කෙයාරින් එක මට දැන් නැතුවම බෑ. අනේ ප්ලීස් මචං, මාව තේරුම් ගනිං." ඔය කිව්වට මට තරම් දීපට තේරුම් ගන්න අහිංසට තවම බෑ. ඇත්තටම අහිංසා මේ තත්ත්වෙට දීපව හිතලා ඇදලා දැම්මෙ නැහැනෙ. කොහොමත් දීප දැන් සතුටින් ඉන්න එක ලොකු දෙයක්. සමහර තැන්වලදි මටත් දීපව මගැරෙන තැන් අහිංසා බලාගන්න නිසා රත් වුණ ගලකට දාපු ඇල්වතුරක් වගේ අහිංසත් දීපත් ගැන අපැහැදුණ හිත ආයෙත් සුවපත් වුණා.
"හරි කමක් නෑ. උඹට ඕනම නම් මං මොනා කරන්නද? ඒත් බං පරිස්සමින්. උඹ මට දුන්න උපදෙස් මට උඔටම දෙන්න වෙන විදිහේ වැඩ සිද්ධ කරගන්න එපා."
"පේන්කිලර්ස් උනත් ඇඩික් උනොත් වේදනව තවත් වැඩි වෙනවා අනිවාර්යයෙන්ම, පේන්කිලර්ස් නැතිදාට."
ආයෙමත් අපි හමුවේවී෴
නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.12.17
01 කොටස 👇
http://nipunimashana.blogspot.com/2021/12/blog-post.html
02 කොටස 👇
http://nipunimashana.blogspot.com/2021/12/blog-post_5.html

Comments
Post a Comment