ආයෙත් අපි හමුවේවී෴
- 01 කොටස -
ආත්ම ගානක් පැත්තකින් තියලා පහුවෙච්ච දවස් ගාණ බලද්දි, බැඳීම් ගොඩක් හිතේ පුරෝගත්ත, ඇස් අරගෙන හීනෙක ජීවත් වුණ, හරියටම සීතල රාත්‍රියක උණුහුමකට ගුලිවෙන්න පොරකාපු දවස් වගේ තාමත් දැණෙනවා. අපි ආව දුර, මහා ලොකූ දුරක් කියලා කියන්නැහැ මං. ඒත් ඒ දුර පොඩියි කියන්නත් බැහැ. කතාවක් කියවලා ලස්සනයි කියන්න පුළුවන් වුණත් ලියපු කෙනා ඒ අත්දැකීම එකතු කරගත්ත විදිහ එහෙමමයි කියලා කියන්න බැහැ. දවසක්, මට මැසේජ් එකක් එනවා මෙන්න මෙහෙම. "කවියෙක් උනාට ඔයාට අනිත් මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ".
මගේ ආසවල් එක පිට එක කඩා වැටෙද්දිත් පොඩිම හරි සතුටක් දුන්න එකම දේත් ඒ වචනවලින් පාගලා පොඩි කරලා දැම්මා. හරියට නුවර ලස්සන කරලා පේමන්ට් එකට වැටුණ රොබරෝසියන් මලක් වගේ, ඔහේ පාගගෙන ගිය; අදටත් යනවා.
"හුප්තො.. මොකද වෙන්නෙ"
"අඩෝ දීපා, ඉන්නවා බං. මොකද වෙන්නෙ.. වාසියක්වත් නෑ"
"හවසට වරෙන් අපේ ගෙවල් දිහා."
"මරුනේ.. පැතුමාවත් සෙට් කරගමු.. උඹ නම් දෙයියෙක්.."
දීප කියන්නෙ මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක්. ඌ දඩබ්බරයා. ගුරුවරුන්ගෙ ලමයිලුනෙ ඇම්ඩ වැඩ කරන්නෙ. දීපයත් අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ පුතා. තාත්තා ඉස්සරහ හීලෑ උනා, අපි එක්ක වල් සතා. ඒත් මගෙ බොක්ක. මගේ ජීවිතේ වැඩි හරියක් දන්නෙ ඌ. දීප හරියට මගේ ඩයරිය වගේ.
"මතකනෙ එක පාරක්. කටවහන් ඉඳපන් පාඩුවෙ.. "
"නෑ නෑ බං. ආය එහෙම වෙන්නෑ. මේ පාර විතරයි. මටත් ඉවසන්න පුළුවන් සිමාවක් තියෙනවනෙ බං."
"මට ද කියන්නෙ.." දීපයගෙ පල් හිනාවට මට මං ගැනම ලැජ්ජ හිතුණා. මට කෙලින් තීරණයක් ගන්න බැරි බව ඌ දන්නවා. මට එක දෙයක් එක විදිහකට අල්ලගෙන ඉන්න බෑ කියලා මමත් දැන් හොඳට දන්නවා.
"උඹ කිව්ව කතාව ඇත්ත බං. මං මෝඩයි."
"දැන්වත් තේරුණානම් ඒ ඇති." දීප ඒක කිව්වෙ වෙන දිහාවක් බලාගෙන දිග හුස්මක් පිට කරනවාත් එක්කම.
"තාත්තට අත්උදව් දෙන්න මාත් හෙට ඉඳන් යනවා බං."
"ඒක හොඳයි, බලපන් තොගෙ බඩ. රා කලයක් වගේ." මට හිනා ගියත් දීප හිනාවක් නැතුවම ඒක කියලා දැම්මා.
"උඹ තමයි වගකියන්න ඕන.."
"එකම සරම ඇන්දට බඩ වෙන්න තොට පෙරේත දිස්ටියද" ඒකට නම් දෙන්නටම හිනා ගියා.
පෑරුණු හදවත්, තුවාල වෙන්නත් කලින් තිබුණ තත්ත්වෙට ගන්න මිනිස්සු නොකරන දෙයක් නෑ.
ආයෙත් අපි හමුවේවී...
නිපුන් ඉමාෂණ රණවීර ✍️
2021.12.05

Comments
Post a Comment